Showing posts with label life verses sinhala. Show all posts
Showing posts with label life verses sinhala. Show all posts

Monday, February 16, 2015

අපි නොවූ අපි

සිනාවේවි අඩන්නටත්, අඩ අඩ සිනසෙන්නටත්
පුරුදු වෙච්ච ලෝකෙක අපි ගෙවාගෙන යන ජීවිතයක අරුමය
කියල නිම කරන්න බෑ නේද කිසිමදාක?
වෙන්වෙන්න බැරි අයම වෙන්වෙලා යන ජිවිතයක්ලු මේක..
තනි ජීවිතයකට දරාගන්න බැරි තරමේ
වෙන්වීම් ගොඩක් උරුම කරගත්තු ජිවිතලු
අපි හැමෝටම තියෙන්නේ..
මුළු හිතෙන්ම හිනාවුනේ කොච්චර අඩුවෙන්ද අපි..
හිතට දැනෙන තුනී දුක් නම් කොච්චරක්ද..
හිත මතම මැවුණු හීන කොච්චරක් තියේද..
ඒ හිතම බිඳුණු තැන් නම් කොච්චර ඇතිද..
දවසින් දවස ගෙවාගෙන යන මේ ජිවිතයම
ජිවිතයක් නෙමේ යයි හිතුනු තැන නම් කොච්චරක්ද..
ඒ ජීවිතේම කිසිම දවසක අවසාන නොවෙනවා නම් කියල
හිතුනු වාර අපමණයි නේද?





Sunday, January 18, 2015

සඳයි, තරුවයි, අහසයි, මමයි...

සඳක් ගැවසුනි
තෙරක් නොදකින
තරුවක් ද විය
දිලෙන නිවෙන
තැනක් නොතැනක්
නැතුව සඳ
වැලපුණේ ඈ
තරුව නැති තැන
සඳට තරුවට
අහස වුනි මම
එක්ව ඉන්නට
වරම් දුනි මම
තරුව සතුටිනි
අද, සඳද සතුටිනි
අහස වී මං
පසෙක වී ඉමි

Monday, September 15, 2014

මටත් ආදරේ බව

අනන්තයකට පෙම් කරන්නේ
කිසිත් නොපතා ඔබෙන් මං
ඇසක් නොගැටී කල්පයක් කල්
සිටින්නේ ඔබ නිසයි මං

ලොවක් අතහැර දිවි ගෙවන්නේ
ඔබ මගේ ලොව නිසා නම්
වරක් හෝ පවසන්න මට අද
මුළු සිතින් ආදරෙයි නම්

සිහින් සරයෙන් සිතට ගෙනෙනා
හුදෙකලාවෙ සිතුවිලි වුනත්
නොදැනෙනා ලෙස මගේ සිතින් මා
පවන වෙත මුසු කරන්නම්

නැතත් අහිතක් කිසි කලකදී
නුඹගැනම මගේ සිත අගින්
මටත් ආදරේ බව අහන්නට
ඔය මුවින් ආසයි මමත්...

Saturday, October 5, 2013

ආදරෙ මං කරන තරම්

ආදර මල් පොකුරු පිටින්
මහ සාගරයක් තරමට
නෙලන් ඉඳිමි මග බලාන
ඔබ කොහේද සොයමින් මම

මතක සිතේ ඇති තරමට
වේදනා ගෙනෙයි අද මට
තටු ඇවිදින් දුක් ගින්නට
ඇවිලෙයි මුළු හද මඩලම

ඔබ නැති විට ලඟින් මගේ
තනිකම විතරයි උරුමේ
ජයසිරි මහ බෝ සමිඳුන්
නැති මහමෙවුනාව වගේ

ඉර නැඟවිත් එළිය බෙදා
පුබුදයි හැමකෙනෙකුගෙ සිත්
මගෙ හිරු නැති මේ පෙම් ලොව
සදා අඳුරෙ ගිලෙනව අද

පවස නිවන දිය උල්පත්
වෙහෙස මකන මහ දිය වැල්
කොතෙක් ඇතත් මේ මිහිපිට
බැරිවෙයි මගෙ ගිනි නිවන්න

හිතටත් මගෙ නෙත් දෙකටත්
පිං මදි ඔබ ලැබ ගන්නත්
හිත යට කොතරම් ඇඬුවත්
දුක අඩුවක් නෑ අදටත්

ආදරෙ මං කරපු තරම්
සිහිනෙන් ඔබ පෙනෙන තරම්
මා ළඟ නැති දිනයක නම්
විඳවනවා මම එතරම්

ආදරයෙන් ජීවිතේම
පුරවාගෙන වෙනුවෙන් ඔබ
කඳුලැලි මං සඟවගෙන
සැනසෙමි ඔබ දෙස බලාන

Thursday, October 3, 2013

මම යමි

සිහිවුනු දුකට නෙතු කඳුලක් නෑම තමා
පෙර දින මතක පෑරුනු සිත එහෙම තියා
කඳුලැලි මතක මත ඇඳි ඒ සටහන් මකලා
පියඹා ඇදෙමි නිති මගෙ පිළිසරන සොයා

නුඹ රැඳි දුකට මට කඳුලැලි ඉනු දාට
නුඹ හට දුකක් නොවුනා ඇති හැමදාට
නෙත් වල රැඳුනු අනුකම්පා තුරුලුකොට
හැඬුවලු මමත් සත් සමුදුරු ගොඩ ගලන්නට

ඈතින් ඔබ යන්නේ මෑතට අත වනලා
දෝතින්ගෙන ජීවිතයම අත හැරලා
දින දින ගෙවුනු ඉපැරණි පෙම පසු කරලා
මම යමි මෙතන සදහට අද අත ඇරලා

( ~ තරිඳු පතිරණ ~ )

Sunday, September 29, 2013

කඳුලැලි බෝමයි...

කඳුලැලි බෝම නෙතු අග මට දැවටෙන්ට
සිතුවිලි බෝම ඔබ ලඟ මට වැලපෙන්ට
ගිලිහුනු මතක ඔබ මට සිහිකරන විට
ඇයි මට කඳුලු දුන්නෙත් හිත පාරන්ට

හිමිවුනු පෙමට කවුරුද හැඬුවේ දුකට
ලෝකය ගැරහුවත් පෙමකට නෑ මුලා කර
සිතුවිලි වුවත් යළි එක් නොවෙනා කලට
කුමට යළිත් අපි හමුවේ නම් පුරුදුකොට

සිතකින් සිතක සිතුවිලි සුව නොදේ නම්
කුමකින් කුමක් මට සිදුවී ගියාදෙන්
ලෝකය වුනත් නිති නුඹ ලඟ රැඳේනම්
කුමට ඉතින් තනි මා ගැන කල්පනාවන්


(~ තරිඳු පතිරණ ~)

ඔබට ලියමි මම ආදරෙන්...

සෙමින් සෙමින්
මගෙ නෙත් අඟින්,
සිතට නොදැනිම
සියොලඟින්,
ඔබගෙ සුවඳ ගෙන
ආදරෙන්,
ලඟින් යනවිට
සනසමින්,
පුරුදු කඳුලට
දුක් දෙමින්,
දෙතොල් සරසා
සිනහවෙන්,
මැවෙන් හැටි මට
සිහිනයන්,
පුදුම වෙමි
ඔබෙ නාමයෙන්,
දිරිය දී මට
ස්නේහයෙන්,
පිරිමදී සිත
සන්තොසින්,
ලොව මගේ හෙට
මේ ලෙසින්,
ලඟ සිටිනු මැන
සෙවණැල්ල මෙන්...

Tuesday, July 16, 2013

යන්නෙමි...

දෙසවන් වුනත් ලොව ගැන දැන උන්නා..
දෙනුවන් පුරා එහි අසිරිය නිති මැවුනා
කම්මුල් මතට එකිනෙක කඳුලැලි වැටුනා
හදවත සොරාගෙන ඇය යළි දුර ඇදුනා

දකිමින් දසුන් සනසවමින් සිත මත්තේ
අසමින් සතන් පිළිබඳ මේ දතයුත්තේ 
පවකින් වුනත් විඳවන මගෙ සිත මත්තේ
සතුටින් කියමි ඇයටයි මං පෙම් බැන්ඳේ

දිවියෙන් අඩක් ඔබ ගැන සිතමින් ඉඳලා
වෙනයම් කෙනෙක් ගැන සිතනට නොහැක මෙදා
රුවලින් මිදී පාවෙන ඔරුකඳ විලසා
යන්නෙමි ඔබෙන් සමුගෙන මං සැඟවීලා

පුරුද්ද

පෙරළෙන ගලක් ලෙස පෙම් බැන්දාට
ගොඩ දිය ගලන සයුරට ලුණු පොදක් ලෙස
ගලනා වැහි වැටුනත් ගොඩ ගලන්නට
පෙරදා මතක මැවුනා..දෝ සිතක් යට

හැමුවත් සුලඟ දෙසවනෙ සිත නොරැඳෙන්න
වැපුරූ කඳුළු මදි වුනි නම් මගෙ නෙත් දෙකට
අසා සිටිමි බොරුවූ ඉසිවර වදන් මග
දුකක් නැතත් කඳුළු ඉනුවෙ පුරුද්දට


( ~ තරිඳු පතිරණ ~ )

Monday, May 20, 2013

සිතන්න මොහොතක් - 1

සැබෑවකි, මුලාවකි,
ජීවිතය තුලාවකි..
සිහින වෙරළට නැගෙන පැතුම් රළ,
බිඳෙයි, යථාර්තයේ ගල් කුළේ හැපී..
නගන්නට වෙර දරන හසරැල්ල මුව'ඟට,
සැබෑවටමදෝ;
කඳුළු වසන් කරන්නටදෝ;
තතු දන්නේ සිතම පමණයි..
කාම සුඛයෙහි පැටලී දඟලන,
ජීවිතයයි ආදරයයි එකම හුයකින් බැඳ,
විසෙන් පිරුනු කටුක මාර්ගය,
එළි පෙහෙළි කර තනන පටුමග මත,
ඇවිද යන්නේ කුමක් පිණිසද,
නැතිනම් සැබෑම සතුටක්,
අප දිනාගත් ලෝකය තුළ...