Saturday, August 10, 2013

බිඳුනු සිත

පෙමින් බැඳි
යදමෙන් සිඳුනු
සිත මගේ
බිඳෙන බව
රිදෙන බව
තැවෙන බව
ගිනිගෙන
දැවෙන බව
සිත මතම
දැන දැන නුඹම
අතැර පොලොවට
දමා යන්නේ
බිඳෙන්නට
ඉඩතබා නේද?

Wednesday, August 7, 2013

තවම අවසර නැත මට

අඳුරු වූ මේ නිසසල රැයේ
නිසල බව පමණක් දැනේ..
සසල යුගනෙත් මානයේ
නෙත් දහක් මැද ජීවිතේ...

සෙවණ යදිනට තුරුවැලක්
සිසිල ලබනට නිම්තෙරක්..
නැති වුනත් මට අත්වැලක්
පෙම් කරයි මගෙ සිත තවත්...

නෙතට අඳුනක් වෙන්නට
සුවඳ ඔබගෙන් ලැබුමට..
දිවිය මතු ඔබෙ රැකුමට
තවම අවසර නැත මට...

නෙතු අතර ඔබෙ සැඟවිලා
සිත ලඟම මගෙ පෙම තියා
වත කමල සිප සනසලා
සැනසුනෙමි සිහිනෙට වෙලා

Tuesday, August 6, 2013

සඳක් ලෙස

සඳක් ලෙස මගෙ හද මඬල තුළ
එකලු කල පෙර දිනෙක ලඟම හිඳ
සතුව ඇත්තේ මගෙ මනස යට
මතකයන් පමණක්ය විඳිනට

නුඹේ සිනහව මගෙ සතුට විය
නුඹේ කඳුලැලි විසිකලෙමි සයුරට
නුඹට පහන වූ මගෙ දෙනෙත අද
කඳුලු සයුරක උල්පතකි නිතරම

ගෙවෙන දිනයක් පාසාම නුඹ ගැන
සිතට නැගෙන සිතුවිලිත් අතරම
අතරමං වූ මගෙ පෙමද අරගෙන
මනස වැලපෙයි හුදෙකලාවක